Monday, June 25, 2018

නොමියන මිනිසා (ලෙනින්ගේ නොමළ දේහය)




                                         මිය ගියද යළි ජීවත් වන ලෝක ඉතිහාසය උඩු යටිකුරු කල මිනිසා වශයෙන් හැඳින්විය හැකි වන්නේ ශ්‍රේෂ්ඨ රුසියානු විප්ලවයේ නියමුවා වන "ලෙනින්" සහෝදරයාය. දිවි දෙවනි කොට ජනතාවගේ උස් පරමාර්ථ යතාර්ථයක් කිරීමට වෙර දරන්නෝ විරලය. එවන් වූ මිනිසුන්ට පහන් ටැඹක් බඳු මිනිසෙකු රුසියානු මව ලොවට දායාද කරන ලදි. සමස්ත රුසියානු ජනතාවම පෙළමින්, සූරාකමින්, අනීතික බලයෙන් වැජඹුන "සාර්" අධිරාජ්‍යයේ බලය සිඳ දමමින් ජනතාවට වඩා යහපත් හෙට දිනක් වෙනුවෙන් එයට නායකත්වය දුන් මිනිසා අසමසමය.
              වී.අයි. ලෙනින් යනු අන්ත දුගී, ලෝකයාක හමුවේ බෙලහීනයන් බවට පත් කර තිබූ රුසියානුවන් අභිමානවත් ලෙස ලෝකයා හමුවේ දෙපයින් සිටවූ ප්‍රතාපවත් මිනිසාය.රුසියානුවන්ගේ පමණක් නොව සමස්ත ලෝකවාසී නිර්ධනයින්ගේ අසාහය නායකයා, මාක්ස්වාදයේ යතාර්ථය ප්‍රායෝගිකවම ලොවට පෙන්වූ මිනිසා  1924 ජනවාරි 21 වෙනි දින සදහටම නිහඬ විය. එම ශෝකාකූල පණිවිඩය කනවැකීමත් සමගම , මහත් සේ ගෝශා නංවමින් කම්හල් තුල කැරැකී ගිය දැති රෝද නිහඬවිය... සී සාමින් සිටි ගොවියන් හිස් බැල්මෙන් අහස දෙස බලා සුසුම් හෙලීය... ලොව පුරා ප්‍රගතිශීලී ජනතාවගෙන් වැල නොකැඩී ශෝක පණිවිඩ ක්‍රේම්ලීනය කරා ඇදී එන්නට විය....



                      මරණයෙන් මතු ජීවිතයක් හෝ පැවැත්මක් ගැන කල්පනාවක් නොකල තියුනු අදේවවාදියෙකු වූ ලෙනින් තම මළ සිරුර පෙට්ටියක දමා පස් යට කරනු ඇතැයි උදෙක්ම බලාපෙරොත්තු විය. එහෙත් ලෙනින් මිය ගිය පසු සෝවියට් සමූහාණ්ඩුවේ පාලනය භාරගත් "ජෝසෆ්ස්ටාලින්" දේශපාලන මණ්ඩලය රැස්කර ලෙනින්ගේ මළ සිරුර  එම්බාම් කර හැකි තරම් කල් තබා ගත යුතු බව යෝජනා කළේය. ලෙනින්ගේ මරණින් පසු සෝවියට් සංගමයේ දසතින් ලක්ශ ගනන් විදුලි පණිවිඩ මොස්කව් නුවරට ගලා ආවේය. පළමු විදුලි පණිවිඩ 10,000 තුලින් කියවුනේ ලෙනින්ගේ සිරුර සදාකාලික ලෙස තබාගත හැකි වන සේ එම්බාම් කරන ලෙසය.  ඒ අනුව එම්බාම් කරන ලද ලෙනින්ගේ දේහය කාටත් දැක බලා ගැනීමට අදටත් රුසියාවේ "රතු චතුරශ්‍රයේ" අනුස්මරණ ශාලාවක තැන්පත් කර ඇත.  


                      ලෙනින්ගේ සිරුරෙහි උදරය පළා අතුනුබහන් සහ අභ්‍යන්තර ඉන්ද්‍රීන් සියල්ල ඉවත් කරන ලදි. ඉන් පසුව මොළයද ඉවත් කෙරිණි. අනතුරුව "බාසම්" යනුවෙන් හඳුන්වන රහස් සංයෝගයකින් සිරුර සෝදනු ලැබීය. සෝවියට් සංගමය බිඳ වැටෙන තුරු බාසම් යනු කුමක්දැයි කවුරුත් දැන සිටියේ නැත. බාසම් සොයාගන්නා ලද්දේ සයිබීරියාවේ විසූ මිනී එම්බාම් කරන්නෙකු විසිනි. "ග්ලිසරින්" සහ "පොටෑසියම් ඇසිටේට්වලින්" බාසම් සාදනු ලැබේ. බාසම් ප්‍රතිකාරයෙන් පසු ලෙනින්ගේ සිරුර තෙත මාත්තු කර ඇඳුම් අන්දා සෙන්ටිග්‍රේඩ් අංශක 16ක උශ්ණත්වයක් යටතේ හා අවට වාතයේ තෙතමනය 80%ක් හෝ 90%ක් යටතේ වීදුරු පෙට්ටියක තබා ප්‍රදර්ශනාය කෙරේ. සෑම මාස 18කට වරක්ම සිරුර වීදුරු පෙට්ටියෙන් ඉවතට ගෙන එහි  ඇඳුම් ඉවත් කර තවත් ද්‍රාවණයක දමා සෝදනු ලැබේ. මේ  ද්‍රාවණයද රහසක් ලෙස පවත්වාගෙන ආ නමුත් දැන් හෙලිදරව් වී ඇත. "පොටෑසියම් ඇසිටේට්", "මද්‍යසාර", "ග්ලිසරෝල්", "ආසුත ජලය" සහ මැලේරියාවට දෙන "ක්විනින්" මේ ද්‍රාවණයේ අඩංගුය. ක්වීනන් සාදන්නේ "සිනකෝනා" ගසේ පොත්තෙනි. පෙර කී සංයෝගයට මෙය යොදා ගත්තේ විෂබීජ නාශකයක් ලෙසය. පසුගිය වසර 100 ක පමණ කාලයක් තිස්සේ ලෙනින්ගේ වැඩ කටයුතු සඳහා මේ සංයෝග යොදා ගැනුනි.

   
                       සාමාන්‍යයෙන් මළ සිරුරක් දීර්ඝ කාලයක් මෙසේ අමු මට්ටමෙන් තබා ගන්නා විට සිරුරේ මුහුණේ සහ අත්වල කළු පැල්ලම් හට ගනී. මෙය ගැන සැලකිළිමත් නොවුනොත් සුළු කාලයක් තුළ මෘත දේහය සම්පූර්ණයෙන්ම කළු පැහැ වේ. එම නිසා  සෑම මාස 18 කට වරක්ම ලෙනින්ගේ සිරුර නහවන විට කළු ලප එමින් තිබූ තැන්වල ජලයෙහි දිය කළ "ඇසිටික් ඇසිඩ්" තවරන ලදි, ශරීරයේ පඨකවල වර්ණය පවත්වාගෙන යන්නේ "හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්" මගිනි. වෙනත් කුඩා ලප කැළැල් "ක්වීනින්" හෝ "ෆිනෝල්" යන විෂබීජ නාශක මගින් ඉවත් කෙරිණි.





                                                              1991 සෝවියට් සංගමය බිඳ වැටෙනතුරු ලෙනින්ගේ සිරුර නඩත්තු කරනු ලැබුවේ ආණ්ඩුවේ මුදලිනි. අද පෞද්ගලික දානපතියෝ ඒ සඳහා උපකාර කරති. රුසියාව තුළ ලෙනින් ලෙනින්ගේ සිරුරට සංකේත නාමයක් ඇත. OBJECT ONE ලෙස එය හඳුන්වයි. දෙවන ලෝක යුද සමයේදී ලෙනින් සිරුර සයිබීරියාවේ ප්‍රදර්ශනයක් සඳහා රැගෙන ගියද සයිබීරියාවට බෝම්බ දමන බවට ලැබූ ආරංචියට නැවත එය මොස්කව් වෙත ගෙන එන ලදි. මෙම දේහය තබා ඇති මොස්කව් නුවර රතු චතුරශ්‍රයේ විසිතුරු අනුස්මරණ ශාලාව ඔප දමන ලද ගල් වර්ග වලින් ගොඩනංවා ඇත. "විලද්මීර් ඉල්යිච් උල්යානොව් (ලෙනින්)" ලෙස ඉපිද, වී. අයි. ලෙනින් ලෙස ලෝකවාසී පොදු ජන හද තුල ජීවත් වන  නොමැරෙන මිනිසාගේ දේහය අනුස්මර්ණය සඳහා අදටත් ලොව නන් දෙසින් බොහෝ පිරිස් මොස්කව් වෙත පැමිණේ.



මොස්කව් හි රතු චතුරශ්‍රය

ලෙනින්ගේ සිරුර
     
තරුණවියේ ලෙනින් (සිතුවමක්)







9 comments:

වෘක බල්ලා ( Siberian Husky )

                මීට වසර 12,000ට පමණ ඉහතදී ඇමරිකාවේදී ප්‍රථම හස්කි සුනඛයා හමු වී ඇති අතර අනතුරුව වසර 8,000ක් පමණ අතීතයේදී ඇස්කිමෝවරු ...